Monday, August 7, 2017

සුන්දර විරහව...............

ඔබට වරම් නැති
මටද වරම් නැති
සෙනෙහස කොතනද සැඟව ගියේ.....
ඉවත ගලා ගිය කඳුලක දියවී, ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ......


ප්‍රේමය යනු සුන්දර කාව්‍යක් නම්, විරහව අසුන්දර වන්නේ කෙසේද? ඔබත් ප්‍රේමය සුන්දරව විඳ ඇත්නම්, එහි විරහව අසුන්දර ලෙස දකින්නේ නැත. ප්‍රේමය, අප දෙදෙනාගේමය. ඇරඹුවේ ද අප දෙදෙනාමය. දහසක් කැපකිරීම් කොට ඉදිරියට ගෙන ගියේද අප දෙදෙනාමය. එබැවිණි, ඔබටත් මට ත් වරම් නැති ඒ සොඳුරු සෙනෙහස අප දෙදෙනාවම දමා පලා ගියේ. එය අප කිසිවෙකුගෙවත් වරදක් නොව. එය අප දෙදෙනාගේම නොලැබීම මිස අන් කවරක්ද?

සෙන්කඩගල වට කල පවුරු වළල්ලේ
පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ....
රන් තරු දෑස තියෙන රෑ හඳ  පානේ......
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ............

Sunday, July 23, 2017

කෙතරම් සුන්දර ද මේ විරහව...............

අම්මගෙන් ඉල්ල ගන්න සල්ලි සල්ලි තමා මට තියෙන්නෙ. තාම ඉස්කෝලෙ යන නිසා මම හම්බ කරන්නෙත් නැහැනෙ. අපිට කියලත් මහ ලොකුවට සල්ලි නැහැනෙ. ඔයාට මැසේජ් කරන්න ගත්ත ෆෝන් එකත් සල්ලි එකතු කරල අඩුවට ගත්ත පාවිච්චි කරපු එකක්. සල්ලි එකතු කරන්න මට පුළුවන් එකම විදිය තමා කෑම කන එක අඩු කරන එක. අසාවට හවසට කන මාළු පාන් ගෙඩියක්, අසාවට බොන කිරි පැකට්  එකක් අඩු කළා කියල මම මැරෙනවද. නැහැනෙ. ඔයත් එක්ක මැසේජ් කරන එකත් හරි එහෙනං. හැමතිස්සෙම ඔයාවමයි මට මතක් වෙන්නෙ. පරිස්සමින් ඉන්න ඕන පන. අපි දෙන්නම් ඉක්මනට ලොකු වෙලා  බඳිමු.

අවුරුදු ගණන් ගෙවිලා ගියත් මගේ හිතේ ඔයාට තියෙන ආදරේ එහෙම්මමයි. තාමත් මම ඉගෙන ගන්නව පැටියො. සොරි පන, අනිත් කොල්ලො වගේ ඔයාව සප්‍රයිස් කරන්න තාම මම ළඟ සල්ලි නැහැ. සමහර දවස් වලට එක වේලයි මම දවසටම කන්නෙ. ඒත් මම ඔයාට ඕව කියන්නෙ නැහැ. මම දන්නවා පන ඔයාට දුක හිතෙනව කියල. නිකන් බොරුවට මම මොකටද ඔයාට දුක් දෙන්නෙ. අපි දෙන්නම එකම බෝට්ටුවෙනේ. අපි දෙන්නටම මහ ලොකුවට සල්ලි නැහැ. ඒත් අපි ඉක්මනටම ගොඩක් සල්ලි සොයාගෙන බැඳල සතුටින් ඉමු.

ඉතුරු කෑල්ල ලබන සතියේ දානව. ටයිප් කරන්න වෙලාවක් නැහැ මේ වැඩ එක්ක. (හි හි තාමත් සල්ලි සොයනව මම)

පිච්ච මල් පිපි යහනේ සුවඳ මා දවයි...............
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි..........
ඔබ උන්න තැන හදේ තාමත් හරිම උණුසුමයි........
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි.........

Tuesday, May 9, 2017

ඇපල් සුවඳ සෙන්ට් එක 3 කොටස

අපි දෙන්නම දෙහිවල හංදියෙන් බස් එකෙන් බැස්ස. කොල්ලුපිටියෙ බෝම්බයක් පුපුරල නිසා මෙහෙත් පට්ට ට්‍රැෆික්. ඔයා කොහෙටද යන්නෙ. මම ඇහුව.

පානදුරේ……..
අම්බලන්ගොඩ බස් එකක යන්න පුලුවන් නේ….. මම කිව්ව.
නවත්තයිද දන්නෙ නැහැනෙ පානදුරේ……
මම ඒක නවත්තල දෙන්නම්කො……
එයා යන්තම් හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවෙ හරියට පුලුවන් නම් බස් එක නවත්තල දෙන්න කියන්න වගේ……..

එයා කොච්චර ලස්සනද. ඒ දිහා කොච්චර බලාගෙන හිටියටත් මට එපා වෙන්නෙ නම් නැහැ…..
” මොකද ගෙම්බෙක් වගේ බලාගෙන ඉන්නෙ. අන්න බස් එකක් එනව” එයා එහෙම කිව්වම තමා මට තේරුණේ මම මෙච්චර වෙලා එයා දිහා කන්න වගේ බලාගෙන ඉඳල නේද කියල……
ගෙම්බියො දිහා බලන්න ඕන ගෙම්බො වගේ තමා…….. මම බස් එකට නගින ගමන් කිව්ව.
අනේ යනවද යන්න…….
බැහැ…….
මොකක්ද බැරි…… එයා ඇහුව………
යන්න……
ටික දුරක් ඔහොම කතා කර කර යනකොට මම වැදගත් නැති වුණත් හිතේ හිර කරගෙන හිටිය ප්‍රශ්නෙ ඇහුව………
ඔයා යූස් කරන පර්ෆියුම් එක මොකක්ද……..
අපේ මාම රට ඉඳන් ගෙනාව එකක්. ඇයි හොඳ නැත්ද?
හොඳයි ඉතිං……..
දැන් පානදුරේටත් ලඟයි. එයාගෙ නම්බර් එකත් මම ළඟ. ලබන සතියෙත් මම එන්නද කියල ඇහුවමත් අකමැත්තකුත් නැහැ වගේ……..
මම යනව. පරිස්සමට යන්න.
එයා බහින්න සීට් එකෙන් නැගිට්ට.
එදා ගෙදර කොහොම ගියාද කියල මට තේරුනේ නැහැ. සතුට වැඩිකමට ගෙදර යනව දැනුනෙත් නැහැ.
ඊට පස්සෙ දවසෙ මම නිදාගෙන නැගිට්ට ගමන් මට හිතුන මේක හීනයක් වත් ද කියල. නැහැ, ඇත්තටම මට එයාව හම්බුනානේ කියල දැනෙනකොට හිතට එන සතුට කියල නිම කරන්න බැහැ.
අපි ඊට පස්සෙ හැම සෙනසුරාදම හම්බුනා. සමහරක් දවස් වලට එයා ක්ලාස් කට් කරා. නැත්නම් බස් එකේ එන ගමන් කතා කර කර ආව.
මිනිස්සු මැරෙන්නෙ නැතුව හැම සෙනසුරාදාම බෝම්බ පුපුරනව නම් හරි නේ……..
ඒ ඇයි? මම ඇහුව……
එතකොට ට්‍රැෆික් එකට අහු වෙලා අපිට බස් එකේ ගොඩක් වෙලා කතා කර කර යන්න පුලුවන් නෙ……..
………………………………….
කොළඹ ගොඩක් ලස්සන වැස්ස දවස් වලට.
ඒ දවස් වල අපි කථා කර කර ඇවිදගෙන යනව පාරවල් දිගේ. අවුව නැති නිසා මහන්සිත් නැහැ. ඒ හැම දවසෙම එයා ලඟින් ආවෙ අර ඇපල් සුවඳමයි.
හැමදේම ඇපල් පාටින් නෙ අද…………..
මෝඩය, මෝඩය, මෝඩය ……. මම තරහයි……..
මොකද මේ……… මම කිව්වෙ ඔයාගේ වූල් බෑන්ඩ් එකත් රතු පාට නිසා…..
………………………………….
අවුව තියෙන දවස් වලට පාරවල් වල ඇවිදගෙන යන්න හරිම අමාරුයි. ඒත් අපි දෙන්න යනව. එයත් එක්ක යනකොට කිසිම අමාරුවක් දැනෙන්නෙ නැහැ. එහෙම යනකොට මගේ අතට දැනෙනව එයාගෙ අතට දාඩිය දාල කියල. පවු එයාට මහන්සි ඇති.
– අපි බීම එකක් බොන්න යමු…….
එයා ඉතිං ඔළුව වනල හා කියනව………
කඩේට ගිහිං බීම එක බොන ගමනුත් කතා කරන එකමයි අපි දෙන්නගෙ වැඩේ.
– මම ජොබ් එකක් හම්බුන ගමන්ම කාර් එකක් ගන්නව.
ඇයි ඒ එයා එකසැරේටම ඇහුව.
– එතකොට අපිට අවුවේ යන්න ඕන නැහැනෙ.
මටත් ඒක එලවන්න පුරුදු කරනවද? එයා ඇහුව.
– මම පුරුදු වෙලා ඔයාට පුරුදු කරන්නම්කො.
ආදරේ කියන දේ කොච්චර සුන්දරද කියල මට දැනුනෙ ඒ කාලේ. ඒක නිකන් පිස්සුවක් වගේ. ඒක බොළඳයි. පට්ට විදියට. එහෙම උනේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ…
පරිස්සමට යන්න.
ඔයාගෙ සෙන්ට් එක ඉවර වෙන්න කලින් තව එකක් ගන්න. නැත්නම් මට ඔයාව එපා වෙන්න පුළුවන්…….
අනේ යනවද මෝඩය යන්න. (එයා කොච්චරවත් ඕක තමා කියන්නෙ)
පරිස්සමට යන්න සමනලයෝ….. මම දැන් හාමදාම එයා යන්න කලින් කියන්නෙ එහෙමයි.
එයා පානදුරෙන් බහිනකොට මමත් බහිනව. එයා පේන්නේ නැති වෙනකං එහාට යනකන් ඉඳල, වෙන බස් එකක නැගල මම ගෙදර යනව.
දැන් මට එයාව දකින්නෙ නැතුව ඉන්න අමාරුයි. සෙනසුරාදට විතරක් බලල මදියි. ඉඩ ලැබුන වෙලාවට කෝල් කරත්, හැමදාම මැසේජ් කරත්, එයාව බලන්නෙ නැතුව ඉන්න බැහැ මට…….
ඒක නිසා මම දවසක් උදේ එයාලගේ ඉස්කෝලෙ ලඟට ගියා.
ටික වෙලාවක් ඉන්නකොට මට පෙනුන එයා එනව…………
ඇයි අනේ මෙහෙට ආවෙ. පිස්සුද මෝඩය. කවුරු හරි දැක්කොත්.
අපි බැන්දම හැමෝම දකිනවනෙ…… මම කිව්ව
ඔයත් එක්ක කතා කරල දිනන්න බැහැ. ආයෙ එන්න එපා හරිද? පරිස්සමට යන්න….
එහෙනම් මම යනව. ඔයත් පරිස්සමට යන්න සමනලය……
එහෙම කියල මම එන්න හැරුණ.
ටිකක් ඉන්න….. එයා කියනවා ඇහුන…..
ඇයි……. දැන් මට යන්න කිව්වෙ…..
එයා බෑග් එකෙන් කෑම පෙට්ටිය අරගෙන ඒක ඇරල ඒකෙ තිබුණ දෙකට කපල බටර් ගාපු කිඹුලගෙන් කෑල්ලක් දුන්න.
-එපා ඔයාට මදිනේ…..
නැහැ නැහැ මම මෙච්චර කන්නේ නැහැ. ඔයා ගන්න. පරිස්සමට යන්න. එහෙම කියල එයා ගියා…..
මට මාරම දුකයි. එයා කොච්චර හොඳද…… කවද හරි එයාව බැන්දම මම එයාට ගොඩාක් රස කෑම ගෙනත් දෙනව……….
හරිම ලස්සනට, කිසිම අවුලක් නැතුව අපි හරිම සතුටින් හිටිය……
එක දවසක්, ඒ කියන්නෙ බ්‍රහස්පතින්ද දවසක, එයා මට මැසේජ් කරේ නැහැ. එයා කවදාවත් එහෙම ඉඳල නැහැ. GN කියල හරි මැසේජ් එකක් එවනවා එයා. මම රින්ග් කරල බැලුව. සමනලයගේ ෆෝන් එකත් ඕෆ්……..
(මේක පුළුවන් තරම් කොට කරල තමා මේ ගානට දැම්මේ. මීට වඩා කොට කරන්න බැහැ. ඒක නිසා අන්තිම කොටස ඊළඟ එක. එපා වෙන්නෙ නැතුව කියවයි කියල හිතනව)

Friday, April 14, 2017

අසම්පුර්ණ සිහිනය. Incomplete Dream.

කවදාද ආයේ එන්නේ.....
හමුවන්න මා ඉතිං......
දෙනුවන් අයා සිටින්නේ......
හමුවන්න ඔබෙ දසුන්.......

බස් රථය ඉදිරියටම ගමන් කරයි. මෙවැනි ගීතයක් දැන් එෆ් එම් නාලිකාවක ඇසෙන්නේත් ඉතාමත්ම කලාතුරකින් වීම එක් අතකට දුකකි. ජිවිතයද බස් රථයක් වැනි යයි මා හට විටෙක සිතේ. සමහරෙක් විඳවමින් ඉදිරියට යන අතර සමහරෙක් විඳිමින් ඉදිරියට යයි. එනමුදු පෙර කී දෙවර්ගයේම ගමනාන්තය එකකි. ජිවිතයට අදාලව නම් එය මරණය නම් වේ. රැකියාවේ වැඩකටයුතු සඳහා බස් රථයෙන් ගමන් කිරීම තරම් එපා වූ දෙයක් තවත් නම් නැත. මගේ වචනයෙන් කිවහොත් රාජකාරි කටයුත්තක් හිතේ තබා ගෙන බස් රථයේ ගමන් කිරීම කිසිම ෆන් එකක් නැති වැඩකි. අවුරුදු හතරක් කට්ට කා ඉගෙන ගත්තේ මෙවැනි කටු කන ජොබ් කිරීමටදැයි මා හට නිතරම පාහේ සිතේ. මොන කට්ටක් කෑවත් කම් නැත. රැකියාවේ සියලු දුක් දොම්නස් සැනෙකින් වියැකී යන, සතියේ දිනවලදී සවසට මුණ ගැහෙන සුරඟනක් මාගේ ජිවිතයේ ද සිටි කාලයක් තිබිණි.. කාර්යාලිය භූමියෙන් පිටත මෙවැනි රාජකාරි මා බොහෝවිට බලෙන්ම බාර ගන්නෙ ඒ පුරුද්දටමය. එනමුදු දැන් නම් මෙවැනි වැඩ බාර ගත්තාය කියා, මට ලැබෙන වාසියක් හෝ සැනසීමක් නැත. ඇය මා හට හමු වූවේ කෙලෙසද යන්න එතරම් වැදගත් නොවුවත්, ඇය සමඟ සිටි කාලය තුලදී මා ගත කල ජීවිතය, මැදියම් රැයේ මා දුටු සොඳුරු සිහිනයක් යැයි මා හට තාමත් සිතේ. ඒ සොඳුරු සිහිනය අවසානයක් දැකීමට මත්තෙන්, මා හට මගේ නින්ද අහිමි වුවද, ඒ අසම්පුර්ණ සිහිනය මාගේ ජිවිතයේ හොඳම කාල සමය බව මා හට සිතේ. ඒ සිහිනයයි මේ......

ලෝකය ලස්සන වන්නේ වර්ෂාව නිසාය. පුෂ්පයන් විකසිත වන්නේද, මිලාන වූ තුරුලතා ප්‍රාණවත් වන්නේද, සැඟවී ගිය හැඟුම් අවදි වන්නේද වර්ෂාව නිසාය. වැසි දින තරම් ලස්සනක් අන් දින වල නැත. වා තලයේ  ඇති සිසිල් බවත්, අවට පරිසරයේ ඇති අලංකෘත බවත් නිසා, දිව්‍යන්ගනාවන් මිහිමතට වඩිනුයේ මෙවන් දින වලදීය. වර්ෂාව නිසා පැමිණීමට මඳක් ප්‍රමාද වුවද, මා හට හිතුවාටත් වඩා කලින් ගමනාන්තයට ලඟා වීමට හැකි විය. නගර උද්‍යානයක බිම් සකස් කිරීමේ කටයුතු කිරීමයි මා හට අද දිනට අදාළ රාජකාරිය වී තිබුණේ. නගර උද්‍යාන ලෙස නම් කලද, ඒවාට වඩාත්ම ගැලපෙන නම වනුයේ පෙම් උයන් යන්නයි. ඒ තරමටම ඒවා පෙම්වතුන්ගෙන් පිරී ගොසින්ය. අවශ්‍ය අඩුම කුඩුම සියල්ල සපයා, drawing එකට අනුව මායිම් පෙන්වා දුන් පසු පිරිස වැඩ කරගෙන යන අතර මා හට තිබෙන්නේ එය බලා සිටීම පමණකි. වහල් බාශාවෙන් මෙය හඳුන්වනුයේ වැඩක් arrange කිරීම යනුවෙනි. එනමුදු මගේ මතයට අනුව නම් එය  planning,desining,material supplying,arrenging හා supervising යන  වැඩ කිහිපයක එකතුවකි.  අද  නම් මඳකට හෝ අස්වැසිල්ලකි. මන්ද යත් වර්ෂාව නිසා හිරු රශ්මියක් නොමැති බැවිණි. නොතෙමී ඇති තැනක ඇති බැංකුවක් බලා මාද හිඳ ගත්තෙමි. දහවල් කාලයට බංකු වල නම් හිඟයක් නැත. තදබදය ඇත්තේ පඳුරු අසලය.

-මේ අයියේ අර මගේ ස්ලිපර් එකක් අර කාණුව ඇතුලට වැටුණ..........

මම ටිකක් හැරී බැලීමි. තැඹිලි පාට සාරියක් හැඳ ගත් ගැහැණු ළමයෙකි. ඒ ක්ෂණික අනපේක්‍ෂිත දර්ශනය නිසා මා ක්ෂණිකවම නැගී සිටියෙමි. පසුවයි මා හට හැඟුනේ එය නැගී සිටීමට දෙයක් නොවේය කියා. මන්ද යත් මා ගරු කල යුතු කිසිවෙකු නොවෙයි එතැන සිටියේ. නිකන්ම ගැහැණු ළමයෙකු පමණි.

-කොතනද වැටුනෙ?

-මේ මෙතන.

කාණුව ඇතුලට බැස එය අරන් දීම එතරම් වැඩක් නොවේ. නමුත් කිට මරා කානුවක් ඇතුලට බැසීම මගේ තත්වයට හොඳ නැත.අනික මාගේ සේවකයන් ඉදිරිපිට කෙල්ලෙක් නිසා කානුවකට බැස සෙරෙප්පුවක් අරන් දීම කිසිසේත්ම කල නොහැක්කකි.

-සමන්, ඇවිත් මේ සෙරෙප්පුව අරන් දෙන්න.

එසේ වැඩේ ගොඩ දමා ගැනීමට හැකි වීම මා ලද ජයග්‍රහණයකි. තව පොඩ්ඩෙන්, මා කාණුවට බැස එය අරන් දීමට තිබිණි. කෙල්ලෙක් දුටු විට මොලයට වඩා  ඉක්මනින් අතපය ඉක්මන් වීම මගේ දුර්වලකමක් යැයි මා සිතමි. දැන් මා එතැන බොස් බවත්, වැඩ කරන සියලු දෙනා මා යටතේ සිටින සේවකයින් බවත් අර ගෑනු ළමයත් දැන ගන්නට ඇත. එය ගල් බාගයකින් කුරුල්ලන් දහයක් බිම දමා ගැනීමක් වැනිය.

-තැන්ක්යූ අයියේ.....

-ඕකෙ මඩ නිසා අතනින් සෝද ගත්ත නම් හරි.

-හ්ම්.....

-ඔයා නංගි මෙතනින් කොහේ යන ගමන්ද?

-නැහැ, මම යාළුවෙක් එක්ක මේකට ආවේ.

-හා එහෙමද....

ෂුවර් එකටම යාලුවා කියා කියන්න ඇත්තේ කොල්ලාටය. මේ ජොබ් එකෙන් short leave එකක් දමා කොල්ලත් සමඟ පාර්ක් එකට පැමිණි කෙල්ලෙක් විය යුතුය. අපරාදෙ සෙරෙප්පුව අරන් දුන්නෙ..............

Saturday, February 18, 2017

නමක් නැති කතාවක්.......

බස් එකේ යන එක එක අතකට නිදහස්. ඒත් කෝච්චියෙ ගියාම ඇඟට මහන්සියක් නැහැ. හරියට මේ දැන් නැගල මේ දැන් බැස්ස වගේ ගතියක් තියෙනව කෝච්චියෙ ගිහිං ගමන ඉවර වුණාමත්. අද සිකුරාද. ගෙදර යන දවස. හැම සති අන්තෙම ගෙදර යන්න බැරි වුනත් ගෙදර යන්න ලැබෙන සති අන්තයක් ලැබෙනකන් මම හරිම ආසාවෙන් බලාගෙන ඉන්නෙ. මොකද ගෙදර යන එක තමා මගේ ජිවිතේ තියෙන ලොකුම සතුටක්. බ්‍රහස්පතින්ද රෑ තමා හිතට ගොඩක්ම සතුටු. මොකද හෙට ගෙදර යනව කියල හිතට දැනෙනව. මොකක් හරි තමන් කරන්න හරි ලබාගන්න හරි ආස දෙයක්, ලැබෙන්න හරි කරන්න හරි කලින් තමා අපිට ඒකෙ සතුට හිතට ගොඩක්ම තදින් දැනෙන්නේ. මොකද අපි ඒ දේ ලැබෙන්න හරි කරන්න හරි කලින් අපි ඒ ගැන උපරිමයෙන් හිතනව. නමුත් එක කරනකොට හරි ලැබුනට පස්සෙ හරි අපි මනෝ ලෝකෙ බලාපොරොත්තු වෙන තරම් අපිට ඒ දෙයින් තෘප්තියක් ලැබෙන්නෙ නැහැ. ඒක තමා හැම දේම යථාර්ථය.

අදත් කෝච්චියෙම යනව. පැය තුනෙන් ගෙදරනේ. වැඩ කරල මහන්සි වෙලා බස් වල යන්න අමාරුයි. එහෙම හිතල මම #@#$$ ස්ටේෂන් එකට ආව. සෙකන්ඩ් ක්ලාස් ගත්ත ටිකට් එකක්. මට නම් තර්ඩ් ක්ලාස් වල කිසිම අවුලක් නැහැ. ඒ වුනාට එපාම වෙන දේ ඒකෙ සිට් වල එහා පැත්තෙ ඉන්න කෙනාගෙ මුනට මුණ බලාගෙන යන්න ඕන එක. ජනේලෙ අයිනෙ සෙට් වුනොත් හොඳයි. නැත්නම් කොයි පැත්ත බැලුවත් අපි කවුරු හරි දිහා බලනව වගේ කෝච්චියෙ යනකොට. සෙකන්ඩ් ක්ලාස් එකේ ඒ අවුල නැහැ. මොකද බස් එකේ වගේ නෙ සිට් තියෙන්නෙ. ටිකට් එක අරගෙන මම ටිකක් ෆ්ලැට් ෆෝම් එකට ආව.

"අද දින කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය විනාඩි විස්සක් ප්‍රමාද වී ධාවනය වේ"

දැන් ඉතිං ඉඳපන් කො තව විනාඩි විස්සක්. පොඩ්ඩක් වට පිට බැලුව අහල පහල. විශේෂයක් නැහැ. කට්ටිය ගොඩක් ඉන්නව කෝච්චිය බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් හැමෝටම නැහැ මේ දේ. ඒත් ගොඩක් සෙනඟ ඉන්න තැනකට ආවම සමහරුන්ට හිතෙන්නෙ හැමෝම තමන් දිහා බලනව කියල. ඒක එතරම් භයානක නොවන සුළු මානසික රෝගයක් කියල මම අහල තියෙනව. නම නම් මතක නැහැ. මට ත් ඒක නම් තියෙනව. මම ඔහොම ෆ්ලැට් ෆෝම් එකේ ඉන්නකොට, පොඩ්ඩක් අමුතු දෙයක් දිහාට මගේ ඇහැ ගියා. අමුතු දෙයක් කිව්වට දෙයක්ම නෙමෙයි. කෙල්ලෙක්. අමුතු මොකද දන්නවද එයාගෙ කොන්ඩේ ස්ටයිල් එක හරිම වෙනස්. හ්ම්ම්...... හරියට අර 80 ගණන් වල english ෆිල්ම් වල කෙල්ලො දාල ඉන්න හෙයා ස්ටයිල් එක වගේ. පිටිපස්සෙ කොන්ඩේ උඩට කරල බැඳල. ඉස්සරහ කොන්ඩේ පැත්තෙන් දෙකට බෙදල, එක පැත්තක් උඩට කරල කට්ටක් ගහල. අනිත් කෑල්ල මුණට වැටෙන්න පැත්තෙන් දාල. මුණට වැටෙන්න දාපු කොන්ඩ කෑල්ල විතරක් ස්ට්‍රේට් කරල. මම ඒක දිහා ටික වෙලාවක් බලාගෙන හිටියෙ වෙනස් නිසා. වෙනස් නිසාම නෙමෙයි. ලස්සන නිසා.

මම ඒ දිහා බලාගෙන ඉන්නකොට මට මතක් උනේ මම ඉස්ස්සර හරිම ආසාවෙන් බැලුව Jennifer Love Hawlette ඉන්න I know what you did in last summer ෆිල්ම් එක. ඒකෙ jennifer ගෙ හෙයා ඉස්ටයිල් එකත් ඒ වගේමයි. මම බලාගෙන ඉන්නව එයත් දැක්ක. මම ඉක්මනට ඇස් දෙක අහකට ගත්ත. ඒත් චාටර් අප්පා..... එයා දැක්ක මම බලාගෙන හිටිය කියල. එයාට තියෙන්නෙ අපේ ඇස් කැපිල යන බැල්මක්. ලස්සනට දිලිසෙන බෝල වගේ ඇස් දෙකක්. කෙල්ලෙක්ගෙ ඇස් දෙක තමා කොල්ලෙක්ට මුලින්ම මීටර් වෙන්නෙ. මම ආයෙත් ඒ දිහා බැලුව. එයත් මේ පැත්ත බලනව. හිනා වෙන්නෙවත් මුකුත් නැහැ. ඇස් දෙක කරකවනව, ආයෙත් කතාව. කතාව කවුරුත් එක්කද බලනව ඇතිනෙ. මට කියන්න අමතක වුණා. එයා ඇවිත් තිබුනෙ තව ගෑනු ළමයෙක් එක්ක. මමත් ඒ පැත්ත බලනව. ඒත් එයත් මේ පැත්ත බලනව. මම දිහාම බලනව කියල කියන්න බහ ඉතිං. ඒත් මේ පැත්ත බලනව. මම පිටිපස්සත් බැලුව. වෙන කොල්ලෙක් නම් නැහැ මගේ පිටිපස්සෙ.

කෙල්ලෙක් තමන්ගෙ දිහා බැලුව පලියට ඒ කෙල්ල තමන්ට කැමතියි කියල හිතන තරම් බොළඳ වයසක නෙමෙයි මම දැන් ඉන්නෙ. බැලුවට ගානක් යන්නෙ නැහැනෙ. ඉතිං මම ඒ දිහා බලනව. ඒ ඇස් දෙකත් මේ පැත්තට කරකවෙනව, ආයෙත් නිකන් ගණන් ගන්නෙ නැහැ වගේ එහාට කරකවෙනව. ඒකත් අමුතුම ෆන් එකක් තියෙන වැඩක්. කම්මැලි කමක් දැනෙන්නෙත් නැහැ. කෝච්චියත් එනව.

එයා නැගපු පෙට්ටියටම මමත් නැග ගත්ත. කොටුවට යනකනුත් ඒ දිහා බල බල වත් යන්න පුලුවන්නෙ. මට නම් සිට් එකක් හම්බුනේ නැහැ. එයාලට නම් සිට් එකක් හම්බුනා. මම එයාගෙ ඉස්සරහින් වගේ හිටගෙන හිටිය. ඉස්සරහින් කිව්වට ලඟින් නෙමෙයි දුරින්. යනකනුත් එයත් බලනව යන්තම්. ඒත් මම ඒ දිහාම බලාගෙන ඉන්නව. මුකුත් වෙන්නෙ නැහැනෙ බලාගෙන හිටිය කියල..........

Thursday, January 22, 2015

What we do in the shadows (2014) / සිනහව කඳුල අතරින් ගලා යන අපේ ජීවිත කථාව..............


















මම මේ ගැන ඇත්තටම බයිස්කෝප් එකෙන් සබ් ගන්න ඔයාලට සම්පුර්ණයෙන්ම චෝදනා කරනවා. තව බයිස්කෝප් එකේ සබ් දාන කට්ටියට ත් චෝදනා කරනව. මොකද ඔයාල අපි ඉන්න චිත්‍රපටි බලනව විතරයි. කවදාවත් හිතුවද, අපිත් ඔයාල වගේම මිනිස්සු කියල. අපේ ජායාව කන්නාඩියෙන් පේන්නේ වත් නැතුව, අපි කොන්ඩෙ එහෙම පිරන්නේ කොහොමද කියල ඔයාල කවදාවත් හිතුවද?

Monday, January 5, 2015

MOURNING GRAVE (2014) බිහිසුණු හැකියාව……...

MOURNING GRAVE (2014) බිහිසුණු හැකියාව……...


ප්‍රථමයෙන්ම සියලු දෙනාටම සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා. මම අද අරං ආවේ සම්මානනීය දකුණු කොරියානු හොල්මන් චිත්‍රපටියක්. මෙම චිත්‍රපටිය Comedy, Horror, Romance යටතේ වර්ග කොට තිබෙනවා. එමෙන්ම බොහොමයක් අසාර්ථක හොල්මන් චිත්‍රපටි මෙන් නොව, මේ චිත්‍රපටිය බොහෝ සාධනීය ලක්ෂණ සහිත, බොහෝ දුරට සාර්ථක චිත්‍රපටියක් ලෙස හැඳින්වීම නිවැරදියි. එමෙන්ම මේ වන විට, මෙම චිත්‍රපටියට 6.0ක් වැනි හොඳ IMDB අගයක් ද ලැබී තිබෙන බව කිව යුතුයි.