Sunday, June 29, 2014

Ishq Vishk (2003) | ප්‍රේමය සහ එහි චමත්කාරය.



Ishq Vishk (2003) | ප්‍රේමය සහ එහි චමත්කාරය.



මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා සියළු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා. මම සමහර හින්දි චිත්‍රපටි වලට නම් එච්චරම කැමැත්තක් නැහැ. මොකද සමහරක් හින්දි චිත්‍රපටි තාත්වික බවින් තොර වනවා මෙන්ම ප්‍රේක්ෂක මනසට අර්ථාන්විත බවක් එකතු කරන්නේ නැහැ. නමුත් ප්‍රේක්ෂකයාට සිතීමට යමක් ඉතිරි කරන, ජීවිතයට යම්කිසි අර්ථාන්විත පණිවුඩයක් ලබා දෙන චිත්‍රපටිද බොහෝමයක් තිබෙනවා. මම ඒ වගේ චිත්‍රපටියකට තමා අද උපසිරැසි අරන් ආවේ.
මම මේ චිත්‍රපටියේ දකින විශේෂත්වය තමා ආදරය සහ ඒ සම්බන්ධ හැඟීම් ඉතාමත්ම තිවූර ලෙස දැක්වීම. මට හිතෙන විදියට මේ චිත්‍රපටියෙන් ආදරය යනු කුමක්ද කියා ඉතාමත් හොඳින් අර්ථ දක්වනවා. ආදරය සහ ආශාව යන හැඟීම් දෙක පටලවාගෙන තියෙන අද සමාජයට මේ චිත්‍රපටියෙන් ඉතාමත්ම හොඳ පණිවුඩයක් ලබා දෙන බව මම හිතනවා. ඒ නිසා මම හිතන්නේ හැමෝම මේ චිත්‍රපටිය නරඹන්න ඕන කියලා.ඉතාමත්ම ලස්සන , මතකයේ රැඳෙන ගීත කිහිපයක් මේ චිත්‍රපටියේ තිබෙනවා. "Aisa Kyun Hota Hai "  ගීතය ඒ අතරින් එකක්.

මම මේ චිත්‍රපටියේ එක් ගීත ඛණ්ඩයක් උපුටා දක්වන්නම්. ඔයාලා බලන්න එයින් ආදරය කොතරම් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරනවාද කියා..............

♪ මේ ලොවම... ♪

♪ ඔබ නැත්නම් නිකන්ම හිස් තැනකි ♪

♪ කෙලෙසද මා දරා ගන්නේ... ♪

♪ කෙලෙසද මා ඔබට පවසන්නේ? ♪

♪ ''එකඳු මොහොතක් හෝ මා හට ♪

♪ ඔබ අමතක කර සිටිය නොහැකි බව'' ♪

♪ ''දහවල පුරාවටත්, රාත්‍රිය පුරාවටත්...'' ♪

♪ මගේ හදවත... ♪

♪ උමතුවෙන් ඔබවම පතන්නේ. ඇයි? ♪
දැන් අපි චිත්‍රපටිය දිහාට හැරෙමු. මේ තමා එක් රැයකින් සහීඩ් කපුර්ව, සුපිරි තාරකාවක් බවට පත් කළ ඔහුගේ
මුල්ම චිත්‍රපටි රංගනය. මෙහි ප්‍රධාන නිළිය ලෙස රඟපාන්නේ අමිරිතා රාඕ වන අතර සංගීතය අනු මලික්ගෙනි. අනූ මලික් කියන්නේ Baazigar, Akele Hum Akele Tum, Border, Main Hoon Na යන අතිශය ජනප්‍රිය ගීත
අඩංගු චිත්‍රපට වලටද සංගීතය නිර්මාණය කළ ශිල්පියායි. මෙහි රංගනය වෙනුවෙන් සහීඩ් කපුර්ට, Filmfare Best Male Debut සම්මානය හිමි වුණා. එමෙන්ම අමිරිතා රාඕට IIFA සම්මාන උළෙලේදී Best Female Debut සම්මානයත් හිමි වුණා. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන රැසක් දිනාගෙන තිබෙනවා.
අපි දැන් චිත්‍රපටියේ කථාව දිහාට ටිකක් හැරෙමු. රජීව් (සහිඩ්) සහ පායල් (අමිරිතා) පොඩි කාලේ ඉඳන්ම හොඳ යාළුවො. ඉතින් යම්කිසි දෙයක් නිසා මේ යහළුකම ප්‍රේමයක් බවට පත් වෙනවා. පායල්, රජිව්ට ඇත්තටම ආදරය කරත්, රජීව් එයාගෙන් බලාපොරොත්තු උනේ වෙන දෙයක්. මේ නිසා මේ දෙන්නගේ ප්‍රේමයට කුමක් වේද? තව, රජිව්ගේ යාළුවා මැම්බෝ (Vishal Malhotra) සහ පාසලට අලුතෙන් එන අලීෂා (Shenaz Treasurywala) මේ ප්‍රේම කතාවට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ චිත්‍රපටිය නරඹලාම දැන ගන්න කියලා මම ආරාධනා කරනවා. ලස්සන ආදර කථාවක් නිසා සැම දෙනාටම බලන්න කියලා මම ආරාධනා කරනවා. හා තව එකක්, මතක ඇතුව comment එකකුත් දාල යන්න (බැනල උනත් කමක් නැහැ). ඔයාලා දාන comments අපිව තවත් දිරිමත් කරනවා. අමුතු විදියේ English movie එකක් එක්ක ඉක්මනටම හම්බවෙමු. ඔබට ජය.

උපසිරැසි සහ චිත්‍රපටිය මෙතනින් ලබා ගන්න.

No comments:

Post a Comment