Saturday, November 1, 2014

Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්.


Wolf Children (2012) | වෘකයෙකු හා පෙමින් බැඳුනු තරුණියක්.


මම අද ඔයාලට අරන් ආවේ දෙනෙත පිනවන ගමන්ම, හදවතින් විඳින්න පුළුවන් ගොඩක් ලස්සන අමුතුම කතාවක් තියෙන ජපන් සලරුවක්. පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුණා. ටිකක් හිතන්න, අපි කොහේ ගියත්, අපේ ගෙදර තරම් අපිට සුවදායි බවක් ගෙන දෙන තැනක් තවත් නැහැ නේද? එකනේ අපි කොහේ ගියත් ගෙදර යනකං ඇඟිලි ගැන ගැන ඉන්නේ.

ඉතිං මේ සලරුවෙනුත් පෙන්වන්නේ, තාත්තා නැති පවුලක් බොහොම අමාරුවෙන් කොහොමද ගෙදරක් (ගෙදර කිව්වේ භෞතිකව ගඩොල්, සිමෙන්ති වලින් හදන ගෙදර නෙමෙයි, අපේ අම්මා, තාත්තා , පවුලේ කට්ටිය එකට ඉන්න තැන තමා ගෙදරක් වෙන්නේ.) හදා ගන්නේ කියලා. තවත් විදියකින් කියනවා නම් අම්මා කෙනෙක් තමන්ගේ දරුවන් හදා ගැනීමට ගන්නා වූ අපිරිමිත වූ වෙහෙස තමා මේ සලරුවෙන් පෙන්නන්නේ. මේ සලරුවේ නැති දෙයක් නැති තරම්. ඒ කියන්නේ ආදරය, සෙනෙහස, කරුණාව පිරුණ සලරුවක් තමා මේක. මේකේ IMDB අගය බැලුවම ඔයාලට තීරණය කරන්න පුළුවන්, මේක කොච්චර හොඳ චිත්‍රපටියක්ද කියලා.

අපි දැන් මේ චිත්‍රපටියේ කතාව දෙසට මදක් හැරෙමු. සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද? නැත්නම් මිනිස්සුද? ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකො. ඊට පස්සේ මේ වෘකයා මිය යනවා. හරිම ශෝකජනක ආකාරයට තමා ඒක සිදු වෙන්නේ. ඊට පස්සේ හැනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? ඒවා ජය ගන්න ඇයට පුළුවන් වේවිද? දරුවන්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලා ගන්න මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. කාටුන් චිත්‍රපටියක් වුණත්, ඉතාමත්ම තාත්වික කතාවක් තමා මේ සලරුවෙන් දිග හැරෙන්නේ. මම නැවත වාරයක් කියන්නේ මෙම චිත්‍රපටිය, සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට යමක් ගත හැකි, හදවතින් විදින්න පුළුවන් අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කියලා. තවත් එක් දෙයක් කියන්නම් “මේ ලෝකේ නොදන්නා සහ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්”. අමතක නොකර කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

No comments:

Post a Comment