Tuesday, May 9, 2017

ඇපල් සුවඳ සෙන්ට් එක 3 කොටස

අපි දෙන්නම දෙහිවල හංදියෙන් බස් එකෙන් බැස්ස. කොල්ලුපිටියෙ බෝම්බයක් පුපුරල නිසා මෙහෙත් පට්ට ට්‍රැෆික්. ඔයා කොහෙටද යන්නෙ. මම ඇහුව.

පානදුරේ……..
අම්බලන්ගොඩ බස් එකක යන්න පුලුවන් නේ….. මම කිව්ව.
නවත්තයිද දන්නෙ නැහැනෙ පානදුරේ……
මම ඒක නවත්තල දෙන්නම්කො……
එයා යන්තම් හිනා වෙලා ඔලුව දෙපැත්තට වැනුවෙ හරියට පුලුවන් නම් බස් එක නවත්තල දෙන්න කියන්න වගේ……..

එයා කොච්චර ලස්සනද. ඒ දිහා කොච්චර බලාගෙන හිටියටත් මට එපා වෙන්නෙ නම් නැහැ…..
” මොකද ගෙම්බෙක් වගේ බලාගෙන ඉන්නෙ. අන්න බස් එකක් එනව” එයා එහෙම කිව්වම තමා මට තේරුණේ මම මෙච්චර වෙලා එයා දිහා කන්න වගේ බලාගෙන ඉඳල නේද කියල……
ගෙම්බියො දිහා බලන්න ඕන ගෙම්බො වගේ තමා…….. මම බස් එකට නගින ගමන් කිව්ව.
අනේ යනවද යන්න…….
බැහැ…….
මොකක්ද බැරි…… එයා ඇහුව………
යන්න……
ටික දුරක් ඔහොම කතා කර කර යනකොට මම වැදගත් නැති වුණත් හිතේ හිර කරගෙන හිටිය ප්‍රශ්නෙ ඇහුව………
ඔයා යූස් කරන පර්ෆියුම් එක මොකක්ද……..
අපේ මාම රට ඉඳන් ගෙනාව එකක්. ඇයි හොඳ නැත්ද?
හොඳයි ඉතිං……..
දැන් පානදුරේටත් ලඟයි. එයාගෙ නම්බර් එකත් මම ළඟ. ලබන සතියෙත් මම එන්නද කියල ඇහුවමත් අකමැත්තකුත් නැහැ වගේ……..
මම යනව. පරිස්සමට යන්න.
එයා බහින්න සීට් එකෙන් නැගිට්ට.
එදා ගෙදර කොහොම ගියාද කියල මට තේරුනේ නැහැ. සතුට වැඩිකමට ගෙදර යනව දැනුනෙත් නැහැ.
ඊට පස්සෙ දවසෙ මම නිදාගෙන නැගිට්ට ගමන් මට හිතුන මේක හීනයක් වත් ද කියල. නැහැ, ඇත්තටම මට එයාව හම්බුනානේ කියල දැනෙනකොට හිතට එන සතුට කියල නිම කරන්න බැහැ.
අපි ඊට පස්සෙ හැම සෙනසුරාදම හම්බුනා. සමහරක් දවස් වලට එයා ක්ලාස් කට් කරා. නැත්නම් බස් එකේ එන ගමන් කතා කර කර ආව.
මිනිස්සු මැරෙන්නෙ නැතුව හැම සෙනසුරාදාම බෝම්බ පුපුරනව නම් හරි නේ……..
ඒ ඇයි? මම ඇහුව……
එතකොට ට්‍රැෆික් එකට අහු වෙලා අපිට බස් එකේ ගොඩක් වෙලා කතා කර කර යන්න පුලුවන් නෙ……..
………………………………….
කොළඹ ගොඩක් ලස්සන වැස්ස දවස් වලට.
ඒ දවස් වල අපි කථා කර කර ඇවිදගෙන යනව පාරවල් දිගේ. අවුව නැති නිසා මහන්සිත් නැහැ. ඒ හැම දවසෙම එයා ලඟින් ආවෙ අර ඇපල් සුවඳමයි.
හැමදේම ඇපල් පාටින් නෙ අද…………..
මෝඩය, මෝඩය, මෝඩය ……. මම තරහයි……..
මොකද මේ……… මම කිව්වෙ ඔයාගේ වූල් බෑන්ඩ් එකත් රතු පාට නිසා…..
………………………………….
අවුව තියෙන දවස් වලට පාරවල් වල ඇවිදගෙන යන්න හරිම අමාරුයි. ඒත් අපි දෙන්න යනව. එයත් එක්ක යනකොට කිසිම අමාරුවක් දැනෙන්නෙ නැහැ. එහෙම යනකොට මගේ අතට දැනෙනව එයාගෙ අතට දාඩිය දාල කියල. පවු එයාට මහන්සි ඇති.
– අපි බීම එකක් බොන්න යමු…….
එයා ඉතිං ඔළුව වනල හා කියනව………
කඩේට ගිහිං බීම එක බොන ගමනුත් කතා කරන එකමයි අපි දෙන්නගෙ වැඩේ.
– මම ජොබ් එකක් හම්බුන ගමන්ම කාර් එකක් ගන්නව.
ඇයි ඒ එයා එකසැරේටම ඇහුව.
– එතකොට අපිට අවුවේ යන්න ඕන නැහැනෙ.
මටත් ඒක එලවන්න පුරුදු කරනවද? එයා ඇහුව.
– මම පුරුදු වෙලා ඔයාට පුරුදු කරන්නම්කො.
ආදරේ කියන දේ කොච්චර සුන්දරද කියල මට දැනුනෙ ඒ කාලේ. ඒක නිකන් පිස්සුවක් වගේ. ඒක බොළඳයි. පට්ට විදියට. එහෙම උනේ නැත්නම් ඒකෙන් වැඩක් නැහැ…
පරිස්සමට යන්න.
ඔයාගෙ සෙන්ට් එක ඉවර වෙන්න කලින් තව එකක් ගන්න. නැත්නම් මට ඔයාව එපා වෙන්න පුළුවන්…….
අනේ යනවද මෝඩය යන්න. (එයා කොච්චරවත් ඕක තමා කියන්නෙ)
පරිස්සමට යන්න සමනලයෝ….. මම දැන් හාමදාම එයා යන්න කලින් කියන්නෙ එහෙමයි.
එයා පානදුරෙන් බහිනකොට මමත් බහිනව. එයා පේන්නේ නැති වෙනකං එහාට යනකන් ඉඳල, වෙන බස් එකක නැගල මම ගෙදර යනව.
දැන් මට එයාව දකින්නෙ නැතුව ඉන්න අමාරුයි. සෙනසුරාදට විතරක් බලල මදියි. ඉඩ ලැබුන වෙලාවට කෝල් කරත්, හැමදාම මැසේජ් කරත්, එයාව බලන්නෙ නැතුව ඉන්න බැහැ මට…….
ඒක නිසා මම දවසක් උදේ එයාලගේ ඉස්කෝලෙ ලඟට ගියා.
ටික වෙලාවක් ඉන්නකොට මට පෙනුන එයා එනව…………
ඇයි අනේ මෙහෙට ආවෙ. පිස්සුද මෝඩය. කවුරු හරි දැක්කොත්.
අපි බැන්දම හැමෝම දකිනවනෙ…… මම කිව්ව
ඔයත් එක්ක කතා කරල දිනන්න බැහැ. ආයෙ එන්න එපා හරිද? පරිස්සමට යන්න….
එහෙනම් මම යනව. ඔයත් පරිස්සමට යන්න සමනලය……
එහෙම කියල මම එන්න හැරුණ.
ටිකක් ඉන්න….. එයා කියනවා ඇහුන…..
ඇයි……. දැන් මට යන්න කිව්වෙ…..
එයා බෑග් එකෙන් කෑම පෙට්ටිය අරගෙන ඒක ඇරල ඒකෙ තිබුණ දෙකට කපල බටර් ගාපු කිඹුලගෙන් කෑල්ලක් දුන්න.
-එපා ඔයාට මදිනේ…..
නැහැ නැහැ මම මෙච්චර කන්නේ නැහැ. ඔයා ගන්න. පරිස්සමට යන්න. එහෙම කියල එයා ගියා…..
මට මාරම දුකයි. එයා කොච්චර හොඳද…… කවද හරි එයාව බැන්දම මම එයාට ගොඩාක් රස කෑම ගෙනත් දෙනව……….
හරිම ලස්සනට, කිසිම අවුලක් නැතුව අපි හරිම සතුටින් හිටිය……
එක දවසක්, ඒ කියන්නෙ බ්‍රහස්පතින්ද දවසක, එයා මට මැසේජ් කරේ නැහැ. එයා කවදාවත් එහෙම ඉඳල නැහැ. GN කියල හරි මැසේජ් එකක් එවනවා එයා. මම රින්ග් කරල බැලුව. සමනලයගේ ෆෝන් එකත් ඕෆ්……..
(මේක පුළුවන් තරම් කොට කරල තමා මේ ගානට දැම්මේ. මීට වඩා කොට කරන්න බැහැ. ඒක නිසා අන්තිම කොටස ඊළඟ එක. එපා වෙන්නෙ නැතුව කියවයි කියල හිතනව)