Saturday, March 11, 2017

ඇපල් සුවඳ සෙන්ට් එක. ( 2 කොටස )


දැන් ඔහොම මම බස් එකේ හිටගෙන යනකොට මම නිකමට පහළ බැලුව මම අල්ලගෙන ඉන්න සීට් එකේ ඉන්නෙ කවුද කියල. බැලුව කිව්වට බැලුන ඉබේම. හ්ම්ම් එහෙමත් ඕන නැහැ. එක්කො ඇත්තම කියමුකො. මම ඒ සීට් එකම අල්ලගෙන හිටියෙ එතන කෙල්ලෙක් වාඩි වෙලා හිටිය නිසා. තව දෙයක් තිබුන කියන්නම ඕන. මෙතන හරිම ඇපල් සුවඳයි. එයා ලඟින් ද කොහේ තමා ඒ සුවඳ එන්නෙ.

ඔහොම යනකොට ඉස්සරහ සීට් එකක් හිස් වුණා. මම ඉතිං මෙතනම අල්ලගෙන ඉන්නෙ මට මෙතනම වාඩි වෙන්න ඕන නිසා. ඒ අස්සෙ කොන්ද කෑගැහුව " බබා ඇවිත් ඉස්සරහ සීට් එකෙන් වාඩි වෙන්න" කියල. නියමයි, මම දැක්කෙ නැති වුනාට තව පොඩි එක්කෙනෙකුත් හිටගෙන ඉඳල. ඌ  එතන වාඩි වෙනව කියන්නෙ තව සීට් එකක් හිස් වෙනකං මට මෙතනම ඉන්න පුලුවන්. ඒත් වෙන කවුරුත් නැහැ හිටගෙන. එපා වෙනව අප්ප, ඒක බබා කියල තියෙන්නෙ මට. ලොකු කොල්ලෙක් වගේ ඉන්න කොච්චර ට්‍රයි කරත්, පොඩි එකෙක් වගේ මගේ පෙනුම නිසා ඒක කරන්නම බැහැ. හැබැයි කොහොම වුණත් ඒ කොන්දට හොඳක් වෙන්නෙ නැහැ, මෙහෙම කෙල්ලෙක්ට ලයින් දදා ඉන්න කොල්ලෙක්ට බබා කියල උගේ මුලූ ආත්ම ගරුත්වයම විනාශ කරාට. කරන්න දෙයක් නැහැ මම ගිහිං ඉස්සරහින් වාඩි වුනා.

බස් එක යන්නෙ පට්ටම හෙමින්. පිටකෝට්ටේ හංදිය ලඟ බස් එක නවත්තන්න තව ටික වෙලාවයි තිබුනෙ. අර කලින් දැනුන ඇපල් සුවඳ මට ආයෙත් දැනෙනව. මම යන්තම් පොඩ්ඩක් හැරිල බැලුව. අර ගෑනු ළමය බහින්නයි හදන්නෙ ඉස්සරහින්. තාම හොඳටම වැස්ස. එයා පිටකෝට්ටේ හංදියෙන් බැස්ස ගමන් ඉස්සරහ තිබුණ කඩේ ලඟට දුවගෙන ගියේ වැස්සෙමයි. එයා කුඩයක් ගෙනත් නැහැ වගේ. මට හිතුන පව් කියල එයාට. පිරිමි ළමයෙක් නම් වැස්සෙ තෙමි තෙමි හරි යන්න පුලුවන්. ඒත් කෙල්ලෙක්ට එහෙම බැහැ. මට හිතුන එයා ලඟට ගිහිං අහන්න මම මගේ කුඩෙන් ගිහිං දාන්නද කියල. හිතට හයිය අරන් ගියා එයා ලඟට ඒක අහන්න. ඒත් බයටම ඇහුනෙ " ඔයාට මේ කුඩේ ඕනෙද" කියල. මගේ කකුල් දෙකත් වෙවුලනව බයටම. පුදුමයි, හා කියල එයා ඒක ගත්ත. යන්තම් හිනා වෙලා එයා කුඩෙත් ඉහළගෙන  පිටකෝට්ටේ හන්දියෙන් දකුණු පැත්තට ගියා. ඒ කියන්නෙ සිරිකොත තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. ඒත් මම හිතුව කිසිම දෙයක් එතන උනේ නැහැ. අඩුම ගානෙ එයා මගෙන් ඇහුවෙ නැහැ කුඩේ නැතුව ඔයා යන්නෙ කොහොමද කියල. ඒක අහන්න ඕන නැහැ කියමුකෝ. අඩුම ගානෙ අහන්න තිබුන මම ඔයාට කුඩේ ආයෙත් දෙන්නෙ කොහොමද කියලවත්.

කරන්න දෙයක් නැහැ. අන්තිමට මට කුඩෙත් නැති වුණා. ඇත්තටම මම මෙහෙ ආවෙ දැන් waters edge එක තියෙන තැනට යන්න පොඩි වැඩකට. දැන් ඉතිං කුඩේකුත් නැතුව පලයන්කො එතන්ට. මම ආයෙත් පිටකෝට්ටේ හන්දියෙන් බස් එකකට නැගල වැස්සේම එතන්ට ගිහිං වැඩේ කරන් ආව. මට හිතුන කුඩේ නැති වුනත් කමක් නැහැ, මම ආව වැඩේ කර ගත්ත නේද කියල. කොහොමත් ඒකටත් පැය තුනක් විතර ගියා.

දැන් නම් වැස්ස අඩුත් වෙලා. යන්තම් පොද විතරයි. ඔන්න බස් එක ආයෙත් පිටකෝට්ටේ හංදිය ළඟ නැවැත්තුව. මෙතන අනිව විනාඩි පහක් වත් බස් එක නවත්තල තියෙනව. මම නිකමට ජනේලෙන් ඔලුව දාල බලාගෙන හිටිය. මෙන්න අර කෙල්ල මගේ කුඩෙත් ඉහළගෙන බස් එක පැත්තට එනව. එයා බස් එකට ඇවිත් ඉස්සරහින් වාඩි වුණා. හ්ම් එතනට ගිහිං වාඩි වුණා නම් හරි කියල මට හිතුන. ෂේප් එකේ බස් එකෙන් බැහැල ගිහිං මම ආයෙත් ඉස්සරහ දොරෙන් නැගල, අලුතෙන්ම බස් එකට නගින කෙනෙක් වගේ ගිහිං අතනින් වාඩි වුනා. ඒත් මම හිතුව විදියෙ කිසිම දෙයක් උනේ නැහැ. එයා මම දැකලමට කිව්වෙ නැහැ ආ මෙන්න ඔයාගෙ කුඩේ කියල. තෑන්ක් යූ කියලවත්..... අඩුම ගානේ මගේ දිහා බලන්නෙ වත් නැහැ.

ඔන්න දැන් බස් එකත් හිමින් හිමින් ඉස්සරහට යනවා. මම එයා දිහාම බලාගෙන ඉන්නව. ඒත් එයා නිකමටවත් මේ පැත්ත බලන්නෙ නැහැ. කොන්ද ටිකට් දෙන්නත් ආව. මම දෙහිවල හංදියට ටිකට් එකක් ගත්ත. එයත් ගත්තෙ එතන්ටමයි. ටිකට් ගන්නකොට් වත් මගේ දිහා බැලුවෙ නැහැනෙ. මේක හරියන්නෙ නැහැ. මම එයාට කතා කරා. Excuse me, මම තමයි ඔයාට කුඩේ දුන්නෙ. මතකද දන්නැහැ. එයා ටිකක් වෙලා මම දිහා බැලුව, මම දැන් වෙවුලනව. 

_ හා ඔයා නෙ දුන්නෙ. මට ක්ලාස් යන්න පරක්කු වෙලා තිබුනෙ. තෑන්ක් යූ හොඳේ......

එච්චරයි, ආයෙත් කුඩේ මට දුන්න. ඒත් අවුලක් නැහැ. මට කුඩේ හරි හම්බුනානේ. ටිකක් දුර ඔහොම යනකොට ආයෙත් මගේ දිහා බලල එයා දත් පේන්නෙ නැති විදියට හිනා වුණා. කෙල්ලො සාමන්යෙන් පිට තැන් වලදි හිනා වෙන්නෙ එහෙමනේ. දැන් මොකක් හරි කියල එයත් එක්ක කතාවක් පටන් ගත්තොත් හරි කියල මට හිතුන. ම්ම් ඒත් මොනවද කියන්නෙ............

කමක් නැහැ මොනව වුනත්. මම පටන් ගත්ත.
~ ඔයා අද කුඩේ ගෙනාවෙ නැත්ද?

(මෝඩ ප්‍රශ්නයක් ඇහුවද කියලත් හිතුන. කුඩේ ගෙනාව නම් මගේ කුඩේ අරං යන්නෙ නැහැනෙ.)

~ ඔව් අනේ කුඩේ අමතක වුනානේ........

දැන් හරි, කතාව ඔහොම දිගටම ගියා. පට්ට ට්‍රැෆික් එක අද. බස් එකත් හිමින් යන්නෙ. අදත් කොළඹ බෝම්බයක් පුපුරලද මන්ද............

තාම මම කථා කරනව. මම කිව්වට එයා තමා දැන් වැඩියෙන් කතා කරන්නෙ. කෙල්ලො එහෙම තමා. මුලින් කථා කරන්න ආමාරුයි. ඒත් කථා කරන්න ගත්තොත් දිගටම කතා කරනව.....
~ ඔයා කොහෙද මේ ආවෙ ?
~ මම මෙතන යාලුවෙක් හම්බෙන්න ආව. (මම බොරුවක් කිව්ව)

එයා : ඔයා අනූ කීයේද?

මම : හි හි අනූ නෙමෙයි, මම අසූ අටේ. ( ඒක නම් මම ඇත්තම කිවුව)

එයා : මම අනූ එකේ.

මම : එහෙනං ඔයා තාම ඉස්කෝලෙ යනවද?

එයා : ඔව් මම 2010 ඒ ලෙවල්.

මම : ඔයා තාම පොඩි ළමයෙක් නෙ.

එයා : හා එතකොට ඔයා මහ ලොකු ළමයෙක් කියලද හිතාගෙන ඉන්නෙ......

මම : හරි ඉතිං මම ඔයාට වඩා ලොකුයිනෙ.......

එයා : යනව යන්න මැට්ට........

දැන් නම් හරි. ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක්ට මැට්ට කියනව කියන්නෙ........

කොහොම හරි බස් එක දෙහිවල හන්දියටත් ආව. ඒත් වෙලාව යනව දැනුනෙවත් නැහැ. මම හිතුව හරි. අදත් බෝම්බයක් පුපුරල. එකයි මෙච්චර ට්‍රැෆික් එක වැඩි.



 ඇපල් සුවඳ සෙන්ට් එක (1 කොටස)

  ...........ම්ම්ම් මේක කොතනින් පටන් ගන්නද කියල හිතා ගන්න බැහැ. වැස්ස දවස් කියන්නෙ සාමාන්‍යයෙන් මට අනිත් දවස් වලට වඩා විශේෂ දේවල් සිද්ධ වෙන දවස්. ඒක නිකන්ම හිතලුවක් ද මන්ද. ඒත් මට හිතෙන්නෙ එහෙමයි. මෙහෙමයි, කෙල්ලෙක් මීට කලින් සෙට් වෙලා නැති කොල්ලෙක් ඉන්නව කියල හිතන්නකෝ...... එහෙම කොල්ලෙක් ට පට්ටම ආසාවක් , හීනයක් තියෙන්නෙ කෙල්ලෙක් සෙට් කර ගන්න. ඒක මොන වගේ අත්දැකීමක් ද කියල බලන්න. හරිම ආසාවෙන් ඉන්නෙ ඒ මුල්ම අත්දැකීම විඳ ගන්න. ඉතිං මම එදා, වැස්ස දවසෙ බස් එකට නැග්ගෙ පොඩි ගමනක් යන්න. සීට් තිබුනෙ නැති නිසා හිටගෙන තමා යන්න උනේ. මුලින්ම හතර පස් දෙනෙක් හිටගෙන හිටිය මමත් එක්ක. ඒත් ටිකක් වෙලා යනකොට මම විතරක් උනා හිටගෙන ඉන්නෙ. ඒක කොච්චර එපා වෙන වැඩක් ද කියල එහෙම ගිහිං තියෙන කට්ටිය දන්නව. හැමතිස්සෙම හිතෙන්නෙ හැමෝම මම දිහා බලනව ඇති කියල..............