Sunday, October 26, 2014

The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය.

The Wind Rises (2013) | පෙම්වතිය අහිමි කල නව නිර්මාණය.



මම අද ආවේ අති විශිෂ්ට ගණයේ ජපන් සිනමා කෘතියක් අරගෙනයි. මාව මේ චිත්‍රපටිය ගැන දැනුමත් කරලා, මේ චිත්‍රපටියට උපසිරසි කරන්න මට භාර දුන්න වාසල සොහොයුරාට මුලින්ම මගේ ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මෙය ඔස්කාර් සම්මානයට පවා යෝජනා වූ චිත්‍රපටියක්. එමෙන්ම මෙම චිත්‍රපටිය තවත් සම්මාන බොහෝමයක් දිනාගෙන තිබෙනවා.
තවදුරටත්, මේ චිත්‍රපටියේ IMDB අගය දිහා බැලුවමත් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මෙය කොතරම් විශිෂ්ට ගණයේ සලරුවක්ද කියලා. මේ සිනමා කෘතියට පදනම් වෙලා තියෙන්නේ මිට්සුබිෂි A5M සහ මිට්සුබිෂි A6M Zero යන ජපන් ගුවන් යානා වල නිර්මාපකයා වන ජිරෝ හොරිකෝෂිගේ ජීවන කතාවයි. සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට ආදර්ශයක් ගත හැකි, අගනා චිත්‍රපටියක් ලෙස මේ චිත්‍රපටිය හැඳින්වීම නිවැරදියි.
මේ ලෝකය මෙතරම් සුන්දර වූවේත්, ලස්සන වූවේත්, සාම්ප්‍රදයිකත්වයෙන් මිදී වෙනස් ආකාරයට සිතූ මිනිසුන් නිසාවෙන් බව ඔබ මොහොතකට හෝ හිතුවාද? සියලු දෙනාම සම්ප්‍රදායික, ගතානුගතික ආකාරයට තම චින්තනය මෙහෙයවූවා නම්, දැන් ඔබ පාවිච්චි කරන පරිගණක යන්ත්‍රය, ඔබට එළිය දෙන විදුලි බුබුල මෙන්ම අපට බොහෝ ප්‍රොයෝජනවත් වන විදුලිය පවා අප අතර නොවන්නට තිබුණා නොවේද? එමෙන්ම මොහොතකට සිතන්න දැන් ඔබ පිවිස සිටින බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පවා වෙනස් ආකාරයට සිතූ සුන්දර මිනිසෙකුගේ නිර්මාණයක් නොවේද? මේ ලොව මෙතරම් ලස්සන කිරීමට, සුන්දර කිරීමට, තම ජීවිතය කැප කළ එවැනි සුන්දර මිනිසෙකුගේ ජිවන කතාවයි මේ සලරුව මතින් දිග හැරෙන්නේ.තවත් එක් දෙයක් කියන්නම්, මෙම චිත්‍රපටිය නරඹන විට එහි 01:28:27 වන මොහාතේ සිට ඉදිරියට මඳක් අවධානයෙන් බලන්න. එවිට ඔබට වැටහේවි, තම සිහිනය සැබෑ කර ගැනීමට, මේ මිනිසාගේ තිබූ කැපවීම කොතරම්ද කියා. මෙම චිත්‍රපටිය සඳහා අන්තර්ජාලයේ තිබුණු ඉංග්‍රීසි උපසිරසි එතරම් හොඳ මට්ටමක නොවුණත්, මා හට හැකි අයුරින් එය සකස් කර ඔබේ රසවින්දනය සඳහා මෙය රැගෙන ආ බවද සඳහන් කර සිටිමි.
අපි දැන් මේ සලරුවේ කතාව දෙසට මදක් හැරෙමු. ජිරෝ කියන්නේ කුඩා කළ සිටම ගුවන් යානයක් නිර්මාණය කිරීමට සිහින මැවූ අයෙක්. කෙසේ හෝ ඔහු ගුවන් යානා නිර්මාණය පිළිබඳ හදාරා, ජපානයට ගුවන් යානයක් නිර්මාණය කිරීමට වෙහෙසෙනවා. ඔහු මේ සිහිනය සැබෑ කර ගැනීමට වෙහෙසෙන අතර, ඔහුට පෙම්වතියක්ද මුණ ගැසෙනවා. ඉන් පසු මේ දිරිය මිනිසාගේ ගුවන් යානයක් නිර්මාණය කීරීම සඳහා යන ගමන ගලා යන්නේ සුන්දර ආදර කතාවක්ද සමඟයි. නමුත් චිත්‍රපටිය අවසානයේදී ඔබ බලන්න, ඔහු ජයගන්නේ තමාගේ ප්‍රේමයද, නැත්නම් තමාගේ සිහිනයද කියා. මෙවැනි අපිරිමිත කැපකිරීම් කරමින්, මේ ලෝකය සුන්දර මෙන්ම සුවපහසු කිරීමට වෙහෙසුණු මිනිසුන්ට මගේ ගෞරවය පුද කරමින් ඔබෙන් සමුගන්නම්. මතක ඇතුව කොමෙන්ට් එකකුත් දාලා යන්න. ඔබට ජය.

1 comment:

  1. Hoda kathawak Ishara saho. Bohoma thuthi mekata sub dunnata. Ohoma karagena yamu.

    ReplyDelete